සත්‍යයේ පුවත් අඩහැරය….

ගජ මිතුරන්ට වාසි සලසමින් සිටින ආණ්ඩුව ජනතාව ආරක්‍ෂා කරනු ඇතැයි සිතිය නොහැකියි – තිස්ස අත්තනායක

Podu රටේ ජනතාව ආරක්ෂා කිරීමට කිසිදු වුවමනාවක් නොමැති ආණ්ඩුවට, කොරෝනා මර්දනය සඳහා එන්නතක් මෙරටට ගෙන්වීම පිළිබද කිසිදු සැලසුමක් නොමැති බවත් මෙමඟින් ඇතිවිය හැකි භයානක තත්ත්වයේ වගකීම ආණ්ඩුව විසින් භාරගත යුතුව තිබෙන බවත් සමගි ජන බලවේගය අවධාරණය කර සිටියි.ඊයේ (11) කොළඹ, විපක්‍ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස අත්තනායක මහතා විසින් මෙම අදහස් පළකරන ලදී.

ඒ මහතා එහිදී පහත පරිදි වැඩදුරටත් සිය අදහස් දක්වා සිටියේය.

පාසල් විවෘත කිරීම පිළිබඳ ආණ්ඩුව විසින් ගෙන ඇති තීරණයට එරෙහිව විද්වත් සංවිධාන සහ වෘත්තීය සමිති තුළද යම් යම් මතවාද ඇතිව තිබෙනවා. පාසල් විවෘත කිරීමේ ගැටළුවක් නොමැති නමුත් එවැන්නක් සිදුකිරීමට තරම් යහපත් පරිසරයක් නිර්මාණය වී ඇද්දැයි යන ගැටළුව මතුවනවා. මෙමඟින් යළිත් කොරෝනා වසංගතය රට තුළ වර්ධනය වේදැයි යන සැකය මතුවනවා.

පාසල් විවෘත කිරීමට පෙර ඊට සුදුසු පරිසරයක් නිර්මාණය කළයුතු අතර දෙමව්පියන් තුළ වසංගතය සම්බන්ධයෙන් පවතින බිය සැක නැති කළයුතුයි. පාසල් තුළ සෞඛ්‍යාරක්‍ෂාව සහතික කිරීමට අවශ්‍ය උපකරණ ඇතුළු පහසුකම් පිළිබඳ ආණ්ඩුව කිසිදු සැලකිල්ලක් දක්වා නෑ. මෙරට පාසල් රැසක් නිසි සෞඛ්‍ය පහසුකම් සපයා ගැනීමේ ගැටළුවකට මුහුණදි සිටිනවා. සිසුන්, දෙමව්පියන් මෙන්ම ගුරුවරුන් තුළ රටෙහි තත්ත්වය පිළිබඳ විශ්වාසයක් ගොඩනැඟීමෙන් පාසල් විවෘත කළ හැකිමුත් එවැනි තත්ත්වයක් දක්නට නෑ.රටේ පාලනය සාමාන්‍ය ලෙස සිදුවෙමින් තිබෙන බව පෙන්වාදීම සඳහා ගනු ලබන මෙවැනි තීරණ දරුණු අනතුරක් සඳහා අතවැනීමක් යැයි ආණ්ඩුවට නොදැනීම කණගාටුවක්.

මේ වනවිට ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ පාසල් අධ්‍යාපන කටයුතු ක්‍රියාත්මක වුවත් එමඟින් සිසු දරුවන්, දෙමව්පියන් මෙන්ම ගුරුවරුන්ද ගැටළු රැසකට මුහුණදී සිටිනවා. මෙම කටයුතු සඳහා සිය පුද්ගලික මුදල් වැයකිරීමට සිදුව ඇති බැවින් ගුරුවරුන්ට සහ සිසුන්ගේ දෙමව්පියන්ට අදාළ තාක්ෂණ පහසුකම් ලබාගැනීම සඳහා යම් දීමනාවක් ලබාදිය යුතුව තිබෙනවා. පාසල් විවෘත කිරීම ආදිය කඩිමුඩියේ සිදුකරන්නේ රට යථා තත්ත්වයට පත්ව ඇතැයි පෙන්වාදීමට නම් එලෙස නොකරන ලෙසත් රටේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බවට තහවුරු කරගැනීමෙන් පසුව පමණක් පාසල් විවෘත කරන ලෙසත් ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

උපකාරක පංති පැවැත්වීමද වසරකට වැඩි කාලයක් පුරා තහනම් කර ඇති බැවින් දසදහසක් පමණ වන උපකාරක පන්ති ගුරුවරුන්, ඊට සම්බන්ධ ආයතන මෙන්ම සිසු දරුවන්ද ගැටළු රැසකට මුහුණදී තිබෙනවා. කොන්දේසි සහිතව හෝ නිසි සෞඛ්‍යාරක්‍ෂක ක්‍රමවේදයන්ට අනුව එම අධ්‍යයන කටයුතු ආරම්භ කළ හැකි පරිසරයක් නිර්මාණය කළයුතුව තිබෙනවා.

බිය සැක වර්ධනය වීම නිසා රටේ තත්ත්වය අයහපත් තත්ත්වයකට පත්වෙමින් තිබෙන බවත් කොරෝනා මර්දන බලකාය සහ සෞඛ්‍ය අංශ එක්ව වසංගතය මර්දනය කිරීම සඳහා දියත් කරන ලද ක්‍රියාමාර්ග සාර්ථක වීම ඉතා අවම මට්ටමක පවතිනවා. යම් යම් සාර්ථක ප්‍රතිඵල ලැබුනත් වසංගතයේ ව්‍යාප්තිය වේගවත් වෙමින් පවතින බවක් පෙනීයනවා.

වරාය සහ ගුවන් තොටුපළ වසාදමා කොරෝනා වසංගතය මෙරටට පැමිණීම වළක්වන්නැයි වසංගතයේ ව්‍යාප්තවීම ආරම්භ වූ මුල් භාගයේදී සජිත් ප්‍රේමදාස මහතා විසින් කරන ලද යෝජනා ක්‍රියාත්මක කළේ නම් මෙවැනි තත්ත්වයක් රට තුළ උද්ගත වන්නේ නෑ. ආණ්ඩුව එම යෝජනා හෑල්ලුවට ලක්කළා. වරාය සහ ගුවන්තොටුපළ යළි විවෘත කිරීමට තරම් සුදුසු පරිසරයක් නිර්මාණය වී ඇද්දැයි විමසීමට සිදුවනවා. එහිදී රටට ඇතුළු වන පිරිස් නිසි පරීක්ෂාවකට ලක්කිරීම සඳහා වන නිසි පහසුකම් අප සතුව තිබෙන්නේදැයි යන ගැටළුව මතුවනවා.

මෙරටට පැමිණි යුක්රේන සංචාරකයින් අතර කොවිඩ් වෛරසය ආසාදනය වූ පිරිසක් සිටීම හේතුවෙන් මෙරට පුරවැසියන් සිය ගණනක් මේ වනවිට නිරෝධායනයට ලක්කර තිබෙනවා. පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන මේ වනවිට වසාදමා තිබෙන යුක්රේනය වැනි රටකින් සංචාරකයින් ගෙන්වා මෙරට ආරක්ෂිේත යැයි පෙන්වාදීමට උත්සාහ කිරීම තුළින් යුක්රේන පොකුරක් නිර්මාණය වේවි.

කොරෝනා වෛරසය මර්දනය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ෆයිසර් නම් සමාගම විසින් නිපදවන ලද එන්නත නිර්දේශ කර ඇතත් ඉන්දියාවෙන් හෝ චීනයෙන් අඩු මිලට එන්නතක් මෙරටට ගෙන්වීමට සූදානම් වන්නේ මන්දැයි ආණ්ඩුවෙන් විමසනවා. දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව ඇති බැවින් මිලෙන් වැඩි එන්නතක් ගෙන්වීමට නොහැකි යැයි ආණ්ඩුව පවසනු ඇතිමුත් ටෙලිකොම් සමාගම සිය ලෝගෝව වෙනස් කිරීම සඳහා රුපියල් බිලියන දෙකකට අධික මුදලක් වැයකර ඇතැයි වාර්තා වනවා. මෙවැන්නක් සිදුකිරීම අවශ්‍ය දැයි මෙන්ම මෙවැන්නකට අවසර ලබාදුන්නේ කවුරුන්දැයි විමසීමට සිදුවනවා.

බදු පහළ දැමුවත් පැවසූ ආකාරයට සීනි මිල පහළ ගියේ නෑ. ඉන් වාසියක් ලැබුවේ ජනතාව නොවෙයි. ආණ්ඩුවට හිතැති පුද්ගලයින් පිරිසක් පමණයි. මෙහිදී රුපියල් බිලියනයක්, දෙකක අයුතු ආදායම් ලබාගැනීමට අදාළ තැරැව්කාර සමාගම්වලට හැකිවුනා. ප්‍රමිතියෙන් යුත් එන්නතක් ගෙන්වීමට මෙම මුදල් යෙදවිය හැකිව තිබුනා. මෙවැනි ආණ්ඩුවක් ජනතාව ආරක්ෂා කරනු ඇතැයි විශ්වාස කළනොහැකියි.

ආර්ථිකයේ සහ ආණ්ඩුවේ අසාර්ථකභාවය මෙන්ම ජනාධිපතිවරයාගේ අඩුපාඩු පිළිබඳ හරීන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුව තුළ අදහස් දැක්වූයේ එම අඩුපාඩු සකස් කිරීමේ අරමුණින් විනා වෛරීසහගත ලෙස නොවෙයි. නමුත් තමන්ට චරිත දෙකක් ඔස්සේ කටයුතු කළහැකි බවත් අතීතයේ ක්‍රියාකළ ආකාරයටම තමන්ට දැනුදු කටයුතු කළහැකි යැයි සිහිපත් කරන බවත් පවසමින් හරීන් ප්‍රනාන්දු මහතාගේ අදහස් දැක්වීම සම්බන්ධයෙන් අම්පාර ප්‍රදේශයේදී සිය මතය පළකල ජනාධිපතිවරයා රටට නරක පූර්වාදර්ශයක් ලබාදුන්නා.

ප්‍රජාතන්ත්‍රවාදයට මෙන්ම අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට එල්ලවූ තර්ජනයක් සහ වත්මන් ආණ්ඩුවේ ඉදිරි ගමන කෙබඳුදැයි යන්න පිළිබඳව යම් ඉඟියක් සහ රටේ සිවිල් පාලනයට එල්ලවූ යම් අභියෝගයක් ලෙස ජනාධිපතිවරයාගේ මෙම අදහස් දැක්වීම හැඳින්විය හැකියි.

 

ජූලි 2021
M T W T F S S
« ජූනි    
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට