ඉස්ලාම් ත්රස්තවාදයට එරෙහිව ජනාධිපතිවරයාගෙන් නිසි ප්‍රතිචාරයක් ඉල්ලා රතන හිමි උපවාසයක් අරඹයි..
ඉස්ලාම් ත්රස්තවාදීන්ට එරෙහිව නිසිපරිදි නීතිය ක්‍රියාත්මක කර, අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නැයි ජනාධිපතිවරයාට බලකරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් විසින් අද (31) පෙරවරුවේ මහනුවර, ශ්‍රී දළඳා මාළිගාව ඉදිරිපිට උපවාසයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ. මෙරට ඇතැම් මුස්ලිම් දේශපාලකයින් ඇතුළු පිරිස් අන්තවාදයට සහය පළකරමින් කටයුතු කිරීම සහ ජනතාව ඇවිස්සෙන සුළු ප්‍රකාශ නිකුත් කිරීම පිළිබදව වරින් වර ලිඛිතවත් වාචිකවත් ජනාධිපතිවරයාව දැනුවත් කළ ද මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයන් ගන්නා ආකාරයක් නොපෙනෙන බැවින් ඒ පිළිබදව ජනාධිපතිවරයාගේ අවධානය යොමුකරවීමේ අරමුණින් මෙසේ උපවාසයක් ආරම්භ කරන බව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අවධාරණය කර සිටියි.
ඒ අනුව අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, නැගෙනහිර ආණ්ඩුකාර හිස්බුල්ලා සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි යන මහත්වරන් ඔවුන් දරණ ධූරවලින් ඉවත් කරන ලෙසත් කාන්තාවන් වදභාවයට පත්කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති කුරුණෑගල රෝහලේ වෛද්‍යවරයා ඇතුළු වෛද්‍යවරුන් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙසත් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිමින් මෙම උපවාසය ආරම්භ කරන ලද බවද පූජ්‍ය අතුරලියේ රතන හිමියන් වැඩිදුරටත් පවසා ඇත.