සත්‍යයේ පුවත් අඩහැරය….

අපේ ආණ්ඩුව සයින්දමරදු වලට නගර සභාවක් දුන්නේ නම් රට තුළ වෙනම රාජ්‍යයක් ඇතිකරන බවට චෝදනා කරාවි – එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්. මරික්කාර්

Podu Jana Peramunaවත්මන් ආණ්ඩුව, සයින්දුමරදු ප්‍රදේශයට වෙනම නගර සභාවක් ලබාදී ඇති අතර යම් හෙයකින් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව මෙවැන්නක් සිදුකළේ නම් රට තුළ වෙනම රාජ්‍යයක් ඇතිකරන බවට වත්මන් ආණ්ඩුවේ පිරිස් චෝදනා කරනු ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්. මරික්කාර් මහතා අවධාරණය කර සිටියි. ඊයේ (17) කොළඹ, විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී මරික්කාර් මහතා විසින් මෙම අදහස් පළකළේය.

මෙහිදී මරික්කාර් මහතා මෙහිදී පහත පරිදි වැඩිදුරටත් සිය අදහස් පළකළේය.

කල්මුණ නගර සභාව දෙකඩ කර සයින්දුමරදු ප්‍රදේශයට වෙනම නගර සභාවක් ලබාදී ඇත්තේ කාගේ වුවමනාවටදැයි රටට හෙළිකරන ලෙස ඉල්ලා සිටිනවා. මැතිවරණය ආසන්න බැවින් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය ලබාගැනීම සඳහා මුස්ලිම් ජනතාවගේ ඡන්දය ලබාගැනීමේ අරමුණ ඇතිවයි මෙවැන්නක් සිදුකර ඇත්තේ. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ යම් යම් වෙනස්කම් සිදුකර එම සංශෝධනය තුළින් රට තුළ පිහිටුවා ඇති ස්වාධීන කොමිෂන් සභා අහෝසි කර 2015 ට පෙර පැවති තත්ත්වය රට තුළ යළි ඇතිකිරීමට ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය අවශ්‍ය වෙලා.

තමන්ගේ වැඩපිළිවෙල රට තුළ ක්‍රියාත්මක කිරීමට ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පැමිණියත් එම වැඩපිළිවෙල නිසිපරිදි ක්‍රියාත්මක කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස ගෝඨාභය රාජපක්ෂ මහතාට අවස්ථාවක් ලබාදෙන්නේ නෑ.

ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගිය දිනෙක ඉන්දියාවේ කළ නිල සංචාරයට වඩා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස ඉන්දියාවේ සිදුකළ සංචාරය රට තුළ වඩාත් කථාබහට ලක්වූයේ එම සංචාරයට එක්වූ පිරිස සහ වැයවූ මුදල හේතුවෙන්.

රුසියාවේ හිටපු මෙරට තානාපති උදයංග වීරතුංග මහතා පසුගිය දිනෙක මෙරටට පැමිණි අවස්ථාවේදීම අත්අඩංගුවට පත්වූ අතර ඔහු බන්ධනාගාර ගතවූ සැණින් බන්ධනාගාර රෝහලට ඇතුළත්වුනා. අද වනවිට රටෙහි ක්‍රියාත්මක වන්නේ පැරණි ක්‍රමයම බව ඒ අනුව පෙනීයනවා.

පසුගිය මැතිවරණ වේදිකාවන් වලදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ළූණූ මිල කීයද, එළවළු මිල කීයද ආදී වශයෙන් විමසමින් පැවති ආණ්ඩුවට චෝදනා එල්ල කළා. එදා ලොකු ළූණූ කිලෝවක් රුපියල් 180/- යි. නමුත් අද වනවිට ලොකු ළූණූ කිලෝවක මිල රුපියල් 280/- ක් දක්වා ඉහළගොස් තිබෙනවා. මහින්ද රාජපක්ෂ මහතා විමසූ පරිදි සැපද යැයි අප විමසන්නනේ නෑ. මොකද රටේ ජනතාව පිළිබඳ අපට ඇත්තේ දුකක්. ජනතාවට සැබැවින්ම ආදරය කරන්නේ නම් අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල ගණන් පහත දමා ජනතාවට සහන සැලසීමට කටයුතු කරන්නැයි වත්මන් ආණ්ඩුවට අවධාරණය කරනවා.

ශ්‍රී ලංකාව විසින් ලබාගෙන තිබෙන විදෙස් ණය වෙනුවෙන් මෙම වසර අවසානයේදී ණය වාරිකය ලෙස ඇමෙරිකානු ඩොලර් බිලියන 4.8 ක් ගෙවිය යුතුව තිබෙනවා. එම වාරිකය ගෙවන්නේ කෙසේදැයි රටට හෙළිකරන ලෙස ආණ්ඩුවේ ආර්ථික විශේෂඥ, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගෙන් ඉල්ලා සිටිනවා. යළි ණය ගැනීමෙන්, රටේ ඉඩම් විකිණීමෙන් හෝ ණය ගෙවීමට සහන කාලයක් ඉල්ලීමෙන් යන ක්‍රම තුන ඔස්සේ අදාළ ණය වාරිකය ගෙවීමට හැකියි. ඒ අනුව එම ක්‍රම තුනෙන් කුමන ක්‍රමය අනුගමනය කරන්නේදැයි ආණ්ඩුවෙන් විමසනවා. රටේ ඉඩම් විකිණීම නම් වත්මන් ආණ්ඩුව මේ වනවිටත් සිදුකරමින් සිටිනවා. ලබාගන්නා ලද ණය ගෙවීමට සහන කාලයක් ලබාදෙන්නැයි මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවෙන් ඉල්ලා තිබෙනවා. ඉන්දියාවෙන් ලබාගෙන තිබෙන ඉතා සුළු ප්‍රමාණයක ණයක් පවා ගෙවාදැමීමට සහන කාලයක් ඉල්ලා සිටීමෙන් මෙරට සම්බන්ධයෙන් ජාත්‍යන්තරය තුළ යම් අප්‍රසාදයක් ඇති වෙනවා. විදෙස් රටවලින් මෙරටට ණය ලබාගැනීමට තිබෙන අවස්ථාව එමඟින් අවම වනවා. ග්‍රිසියට ද සිදුවූයේ එවැන්නක්. ගිණි පොළිය යටතේ ණය ලබාගෙන ඉන් කොටසක් යටි මඩි ගැසීමේ අරමුණින් තමයි වත්මන් ආණ්ඩුව මේ ආකාරයට කටයුතු කරමින් සිටින්නේ.

වත්මන් ආණ්ඩුව විසින් මේ වනවිට රාජ්‍ය සේවක වැටුප්, දීමනා, අතිකාල දීමනා කප්පාදු කරලා. වරාය ආශ්‍රිත බදු ඉහළදැමීම නිසා විදෙස් රටවලින් මෙරටට ආනයනය කරන ආහාර ද්‍රව්‍යන්ගේ මිල ගණන් ඉහළ යනවා. හෙට සහ අනිද්දා යන දෙදින තුළ මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් වන වෝහාරික විගණන වාර්තාව පිළිබඳ විවාදය පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා. කොටස් වෙළඳපොළ තුළ සිදුවන ලද අයථා ගනුදෙනු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ කරුණු හෙළිකිරීමට ද කටයුතු කරනවා. එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමුකරනවා. මහබැංකු බැඳුම්කර වංචාවට සම්බන්ධ ටයි කෝට් හොරුන් පමණක් නොව පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ පිරිස්වලට එරෙහිව ද නීතිය ක්‍රියාත්මක කළයුතුයි.

වත්මන් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට එරෙහිව ඇමෙරිකාව විසින් සංචාරක තහනමක් පනවා ඇති අතර ස්වෛරී රටකට මේ ආකාරයට බලපෑම් සිදුකිරීම දැඩිව හෙළාදකිනවා. මෙය යුද හමුදාපතිවරයාට පමණක් නොව සමස්ත හමුදාවන්ටම එරෙහිව සිදුකරන ලද්දක්. ඒ අනුව ශවේන්ද්‍ර සිල්වා මහතාට එරෙහිව ඇමෙරිකාව විසින් පනවා ඇති තහනම ඉවත් කරගන්නා තෙක් ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් වීසා ඉල්ලුම් කිරීමෙන් වැළකී සිටින්නැයි ඉල්ලා සිටිනවා. තමන් පුද්ගලිකව ඇමෙරිකාවෙන් වීසා ඉල්ලුම් නොකරන අතර එසේ වීසා ඉල්ලුම් නොකරන බව ප්‍රකාශ කරන්නැයි ආණ්ඩුවේ සිටින දේශප්‍රේමී පිරිසගෙන් ඉල්ලා සිටිනවා.

ඉදිරි මැතිවරණයේදී පක්ෂය කටයුතු කරන ආකාරය සහ මැතිවරණයට ඉදිරිපත් වන ලකුණ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ අරමුණින් පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය නුදුරු දිනකදී රැස්වනවා. අපගේ ආණ්ඩුව බලයට පත්වූ විට ඊට පෙර පැවති ආණ්ඩුව විසින් දියත් කරන ලද සංවර්ධන ව්‍යාපෘති අත්හිටුවීමට කටයුතු කළේ නෑ. නමුත් විදෙස් ආධාර මත දියත් කළ ව්‍යාපෘති හැර එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා, ගම්පෙරළිය වැනි පසුගිය එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව දියත් කරන ලද ව්‍යාපෘති, වත්මන් ආණ්ඩුව බලයට පත්වූ විගසම අත්හිටුවීමට පියවර ගත්තා. මේ වනවිට වත්මන් ආණ්ඩුවට මුදල් නොමැති අතර පසුගිය මාසයේ රාජ්‍ය සේවක වැටුප් ගෙවා ඇත්තේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ ස්ථාවර තැන්පතු මඟින්.

මෙම මාධ්‍ය හමුවට සහභාගිවූ එක්සත් ජාතික පක්ෂ හිටපු වයඹ පළාත් සභා මන්ත්‍රි රංජිත් ගුණසේකර මහතා ද පහත පරිදි මාධ්‍ය වෙත අදහස් දක්වන ලදී.

එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අනුව ස්වාධීනව කටයුතු කරන රටකට ඇඟිලි ගැසීමට තවත් රටකට නොහැකියි. ඒ අනුව වත්මන් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට එරෙහිව ඇමෙරිකාව විසින් සංචාරක තහනමක් පැනවීම හෙළාදකිනවා.

මෙරට තුළ පැවති යුද්ධය, යුදමය ලෙස පරාජය කළ ද බුද්ධිමය වශයෙන් පරාජය කිරීමට නොහැකිවුන නිසයි දෙමළ ඩයස්පෝරාව, මෙරටට එරෙහිව කටයුතු කරමින් සිටින්නේ. රණවිරුවන් ඉදිරියට දමා බලයට පැමිණි වත්මන් ආණ්ඩුව මේ වනවිට රණවිරු දීමනා, වැටුප් වැඩීවීම් අත්හිටුවා තිබෙනවා. එය දැඩිව හෙළාදකිනවා. සෞභාග්‍යයේ දැක්ම සම්බන්ධයෙන් නිරන්තරයෙන් කථාකළ ද එය පවත්වාගෙන යාමේ වැඩපිළිවෙලක් ආණ්ඩුව සතුව නෑ.

පොලිසියේ රාජකාරී සම්බන්ධයෙන් මේ වනවිට ගැටළු රැසක් මතුව ඇති අතර ඒ තුළින් පොලිස් දෙපාර්තමේන්තුව දැඩි ලෙස හෑල්ලුවට ලක්වෙලා. යම් යම් සිදුවීම් සම්බන්ධයෙන් පොලිස් දෙපාර්තමේන්තුව විසින් අදාළ පරීක්ෂණ අවසන් කර ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා එම වාර්තා නීතිපති දෙපාර්තමේන්තුවට යොමුකළත් එම ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම අත්හිටුවන්නැයි ආණ්ඩුව නීතිපතිවරයාගෙන් ඉල්ලා තිබෙනවා. මෙමඟින් නීතිපති දෙපාර්තමේන්තුවත් පොලිස් දෙපාර්තමේන්තුවත් දැඩි ලෙස හෑල්ලුවට ලක්වෙනවා. පරීක්ෂණයන්ට අදාළ වාර්තා අනුව නඩු නොපවරා සිටිය නොහැකියැයි නීතිපතිවරයා විසින් මේ වනවිට පවසලා.

ඇමෙරිකාව, චීනය සහ ඉන්දියාව වැනි රටවලින් මෙරටට යුදමය හෝ වෙනත් කිසිදු තර්ජනයක් නොමැති නමුත් තර්ජනයක් ඇත්තේ රට තුළම ක්‍රියාත්මක වන කුඩා කුඩා අන්තවාදී කණ්ඩායම් වල ක්‍රියාකාරීත්වයයි. තුවක්කු සහිතව රටපුරා හමුදා සාමාජිකයින් යෙදවීම නුසුදුසු කාර්යයක්. එමඟින් මෙරටට සංචාරකයිගේ පැමිණීම පහළ යා හැකියි. මෙසේ හමුදාව යෙදවීම ප්‍රජාතන්ත්‍රවාදයට හානියක්. ආරක්ෂක කටයුතු සඳහා සිවිල් සමාජය සමඟ නිරන්තරයෙන් කටයුතු කරන පොලිස් නිලධාරීන් යෙදවීමයි කළයුත්තේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට