සත්‍යයේ පුවත් අඩහැරය….

රටේ ආර්ථිකය විනාශ කළේ රාජපක්‍ෂවරුන් නිසා ඔවුන්ගෙන් කාට හෝ ආර්ථිකය ගොඩගත නොහැකියි – පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක

Podu Jana Peramunaපසුගියදා ජාතිය ඇමතූ ජනාධිපතිවරයා මේ වනවිට ජනතාව මුහුණදී සිටින මූලික ගැටළුවලට විසඳුම් ලබාදීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරය කුමක්දැයි ප්‍රකාශ නොකළ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කර සිටියි. ඒ මහතා මෙම අදහස් පළකරන ලද්දේ ඊයේ (27) කොළඹ, විපක්‍ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

මෙහිදී පාඨලී චම්පික රණවක මහතා පහත පරිදි වැඩිදුරටත් සිය අදහස් පළකර සිටියේය.

කෝවිඩ් වසංගතය මර්දනය කිරීම සහ වසංගතය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාව සම්බන්ධයෙන් ගනු ලබන පියවර මොනවාදැයි ද ජනාධිපතිවරයා කිසිදු ප්‍රකාශයක් කළේ නෑ. අද වනවිට රට තුළ දැවැන්ත මූල්‍ය බංකොලොත්භාවයක් ඇතිව තිබෙනවා. එය රහසක් නොවෙයි. විදෙස් රටවලින් මෙරටට අත්‍යාවශ්‍ය කිසිදු භාණ්ඩයක් ගෙන්වාගැනීමට ඩොලර් නොමැති බව ආණ්ඩුවම පිළිගෙන තිබෙනවා. රටට අවශ්‍ය සහල් ආනයනය කරන බව පැවසුනද එයද නතරවී ඇත්තේ ඒ අනුවයි.

කිසිදු දිනෙක අත්නොවිඳි මූල්‍ය බංකොළොත්භාවයක් කරා රට ගමන්කරනු ඇතැයි වසර කිහිපයකට පෙර ග්‍රන්ථ කිහිපයක් නිකුත් කරමින් තමන් විසින් අවධාරණය කළා. මෙම තත්ත්වයට ලබාදෙන විසඳුම් පිළිබඳ සිය ප්‍රකාශයේදී කිසිදු අදහසක් පළකිරීමට ජනාධිපතිවරයා කටයුතු කළේ නෑ.

නිල නොවන මට්ටමේ වැඩකරන ජනතාවක් ලෙස සැලකිය හැකි රටේ ශ්‍රම බලකායෙන් ලක්‍ෂ 40 ක් පමණ වන පිරිසක් රට තුළ උද්ගතව ඇති තත්ත්වය හමුවේ නව පීඩිත පන්තියක්, නව නිර්ධන පන්තියක් බවට පත්ව තිබෙනවා. පොහොර ගැටළුව සම්බන්ධයෙන් පවා ජනාධිපතිවරයා නිසි පිළිතුරක් ලබාදුන්නේ නෑ. නව විදුලි බලාගාර, විශාල ප්‍රමාණයක නාගරික නිවාස සහ ග්‍රාමීය නිවාස ඉදිකෙරෙමින් පවතින බව වැනි කතන්තර රැසක් ජනාධිපතිවරයා පැවසුවා.

ජනාධිපතිවරයා ඉදිරිපත් කළ සංඛ්‍යා ලේඛණ රැසක් වැරදි සහගතයි. ඒ අනුව මෙරට අධ්‍යාපනය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශද අසත්‍යයි. රාජපක්‍ෂ පවුලේ කිසිදු දරුවෙකු මෙරට තුළ අධ්‍යාපනය නොලබන නිසා උද්ගතව ඇති තත්ත්වය හමුවේ මෙරට දරුවන් මුහුණදී සිටින පීඩනය කෙතරම්දැයි ජනාධිපතිවරයා දන්නේ නෑ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන චූදිතයින් සියළුදෙනා අත්අඩංගුවට ගන්නා බව පවසමින් වත්මන් ජනාධිපතිවරයා බලයට පත්වුනත් යහපාලන ආණ්ඩුව සමයේදී අත්අඩංගුවට ගන්නා ලද පිරිස හැර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වෙනත් කිසිවෙකු අත්අඩංගුවට ගැනීමට වත්මන් ආණ්ඩුව කටයුතු කර නෑ.

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා වහාම අත්අඩංගුවට ගන්නා බව මෙන්ම එක රටක් තුළ එක් නීතියක් ක්‍රියාත්මක කරන බව පැවසූ වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය ජාත්‍යන්තරය තුළ පවා විහිළුවක් බවට පත්ව තිබෙනවා. ඥාති සංග්‍රහයේ නොයෙදෙන බව මෙන්ම රටේ පාලනය සඳහා වෘත්තිකයින් යොදාගන්නා බව පවසමින් බලයට පැමිණි වත්මන් ජනාධිපතිවයාගේ පාලනයද මේ වනවිට විහිළුවක් බවට පත්ව තිබෙනවා.

නිවැරදි සහ සත්‍ය තොරතුරු ලබාදී ජනාධිපතිවරයාගේ ගෞරවය ආරක්ෂා කිරීමට නිලධාරීන් කටයුතු කළයුතුයි. පසුගියදා සිදුකළ ප්‍රකාශයේදී ජනාධිපතිවරයා කළයුතුව තිබුනේ මේ වනවිට තුනෙන් එකක කාලයක් ගෙවී ඇති සිය පාලනය පිළිබඳ පසු විපරමක් කිරීම සහ මහබැංකු බැඳුම්කර වංචාව සහ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටුකර ඇද්දැයි විමසා බැලීමයි.

ආණ්ඩුවත්, රටේ ආර්ථිකය ඇතුළු සමාජයත් මේ වනවිට දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත්ව තිබෙනවා. සමස්ත රටම විදේශිකයින්ගේ තෝතැන්නක් බවට පත්වෙමින් තිබෙනවා. මෙරට මහා මාර්ග, කොළඹ ආශ්‍රිත වානිජ්‍යමය වශයෙන් වටිනා ඉඩම් විදෙස් රටවලට විකුණාදමමින් තිබෙනවා. ත්‍රිවිධ හමුදා මූලස්ථාන, පොලිස් සහ රහස් පොලිස් මූලස්ථාන, විදේශ කටයුතු අමාත්‍යංශය වැනි ස්ථාන වෙනත් රටවලට අලෙවි කරන්නේ ලොව කුමන රටදැයි විමසීමට සිදුව තිබෙනවා. ඒ අනුව මෙම තත්ත්වය හමුවේ අපට කඳුළු සැලෙනවා.

රටත් ආර්ථිකයත් තවදුරටත් ඉදිරියට ගෙනයාමට රාජපක්ෂවවරුන් ඇතුළු වත්මන් ආණ්ඩුවට නොහැකියි. ජනාධිපතිවරයාගේ ජාතිය ඇමතීම තුළින් මඩෙහි එරී සිටින මිනිසෙකු තවදුරටත් දඟලන විට එම මිනිසා තවදුරටත් මඩෙහිම ගිලීයන අකාරයක් තමයි ගම්‍ය වුනේ. ජාතිය අමතමින් සිදුකරන ප්‍රකාශයේදී රට තුළ උද්ගතව ඇති ගැටළු සඳහා පිළිතුරු ලබාදෙන්නැයි විපක්‍ෂය ජනාධිපතිවරයාට දැනුම් දුන්නා.

නමුත් ජනාධිපතිවරයා රටේ දැවෙන ප්‍රශ්න පිළිබඳ කිසිවක් ප්‍රකාශ කළේ නෑ. අපගේ ආණ්ඩු සමයේදී දියත්කරන ලද ව්‍යාපෘති පිළිබඳව ජනාධිපතිවරයා අදහස් පළකළේ ඒවා තම ආණ්ඩුවේ ව්‍යාපෘති ලෙස හඳුන්වාදෙමින්. ජනාධිපතිවරයාගේ ප්‍රකාශය මෙරට සෑම රූපවාහිනි නාලිකාවකම විකාශය වුනා. ඒ අනුව දිනයේ පළමු පැය 05 තුළ හෝ දරුවන්ට යම් අධ්‍යාපනයක් ලබාදීමට කැපවන්නැයි මෙරට රූපවාහිනි නාලිකා අයත් ආයතනයන්ගෙන් ඉල්ලා නොසිටින්නේ මන්දැයි ජනාධිපතිවරයාගෙන් විමසීමට සිදුවනවා. පවතින තත්ත්වය හමුවේ සුහුරු දුරකථනයක්, දත්ත සඳහා වන මුදල් මෙන්ම අවශ්‍ය සංඳා ප්‍රමාණවත් ලෙස නොමැති නම් දරුවන්ට නිසි අධ්‍යාපනයක් ලැබීමට නොහැකි තත්ත්වයක් උදාවී තිබෙනවා. පුද්ගලික උපකාරක පන්ති පවත්වන ගුරුවරුන් මාර්ග ගත ක්‍රමය ඔස්සේ දරුවන්ට අධ්‍යාපනය ලබාදීමට යම් උත්සහායක් හෝ ගෙන ඇති නමුත් ජාතික අධ්‍යාපන ආයතනයට එවැන්නක් කළ නොහැක්කේ මන්දැයි විමසීමට සිදුවන තිබෙනවා. අධ්‍යාපනයේ පැවති සම බිම මේ වනවිට දක්නට නෑ. රාජපක්ෂ ප්‍රතිපත්තිය හේතුවෙන් මෙරට අධ්‍යාපනය කඩාවැටී අවසන්.

ජනාධිපතිවරයාගේ ප්‍රකාශය තුළින් භුමියේ පවතින සත්‍යය තත්ත්වය පළවුනේ නෑ. වටේ නොගොස් බුද්ධි අංශයේ නිලධාරීන්ගේ දරුවන් මේ වනවිට අධ්‍යාපනය ලබන්නේ කෙසේදැයි වාර්තාවක් ලබාගෙන සත්‍ය තත්ත්වය අවබෝධ කරගන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා. සමගි ජන බලවේගය තුළ කිසිදු විරසකයක් උද්ගතවී නෑ. මෙවැනි මත හුදෙක් මාධ්‍ය තුළ ප්‍රචාරය වන ප්‍රවෘත්ති පමණයි. රහස් පොලිසිය කටයුතු කරන ආකාරය අනුව පවා රජයේ ප්‍රතිරූපය දිනෙන් දින කඩාවැටෙමින් පවතිනවා. බුරුමය ගමන් කළ මාවතේ ගමන් කිරීම ගැටළු සහගත බව අණ්ඩුවට අවධාරණය කළයුතුයි. නීතිය නිසි පරිදි ක්‍රියාත්මක නොවන රටක් වෙත ආයෝජකයින් පැමිණෙන්නේ නෑ. මේ වනවිට දරුවන් පවා මෙරට ජීවත්වීමට සුදුසු නොවන බව තේරුම්ගෙන සිටින බව පෙනීයනවා. රට විනාශ කර අවසානයේදී පාලකයින්ද විදෙස්ගත වේවි. රන්ජන් රාමනායක මහතා බන්ධනාගාර ගතව ඇත්තේ කිසිදු නීතියකට අනුව නොවෙයි. අධිකරණයට අපහාසකිරීම සම්බන්ධයෙන් රට තුළ නීතියක් නෑ.

ආර්ථිකය මෙහෙයවීම සඳහා පිහිටුවන ලද කාර්ය සාධක බලකා ගණනාවකම ප්‍රධානියා ලෙස කටයුතු කළ බැසිල් රාජපක්ෂ මහතා යළි මෙරටට පැමිණ ආර්ථිකය ගොඩනඟනු ඇතැයි බලාපොරොත්තු විය නොහැකියි. මෙරට ආර්ථිකයේ කඩාවැටීම සඳහා වගකිව යුත්තේ රාජපක්ෂරවරුන්මයි. ඒ අනුව ආර්ථිකය ගොඩගැනීමට ඔවුන්ගෙන් කාටවත්ම බෑ. අප ද්විත්ව පුරවැසිභාවයට පෙර සිටම විරුද්ධ වුනා. ඇමෙරිකානු පුරවැසිභාවය අත්හැර මෙරට පුරවැසිභාවය ලබාගැනීමට බැසිල් රාජපක්ෂට මහතාට මෙතෙක් නොහැකිව තිබෙනවා.

ඉදිරියේදී බලයට පත්වන අපගේ ආණ්ඩුවකින් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළ පැවති ප්‍රතිපාදන නැවත ගෙන එනවා. බැසිල් රාජපක්ෂට මහතා පැමිණ රටේ ආර්ථිකය ගොඩගන්නා බව පැවසීම තුළින් මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අසාර්ථක බවක් ගම්‍ය වනවා. රාජපක්ෂවරුන් කිසිදු විටෙක තමන්ට අයත්ව තිබූ ආයතනයක් ලාභ ලබා පෙන්වා හෝ මූල්‍ය විනයකින් පවත්වාගෙන ගොස් නෑ. රාජපක්ෂ පවුලේ සියළුදෙනාම සමානයි. එම පිරිස මෙරට ආණ්ඩුව පිළිබඳ සිතා සිටින්නේ එංගලන්තයේ රාජසභාව ලෙසයි. නමුත් එවැනි තත්ත්වයක් මෙරට තුළ නෑ. දක්ෂයයින්ට අවස්ථාව ලබාදිය යුතුයි. එකම පවුලකපිරිසක් පමණක් පාලනය කරන වෙනත් රටක් මේ ලෝකේ නෑ. මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දුන් අවස්ථාවේ මහින්ද රාජපක්ෂ මහතා පාවාදුන් බව පවසමින් ඇතැමුන් අපට චෝදනා එල්ල කළා. නමුත් අප එලෙස කටයුතු කළේ ප්‍රතිපත්තිමය කරුණු මතයි. මේ වනවිට අත්ව ඇති ඉරණම අනුව එදා අප විසින් ගත් එම ක්‍රියාමාර්ගය කෙතරම් යුක්තිසහගත දැයි අපට චෝදනා කළ පිරිසට මේ වනවිට තේරුම් ගොස් ඇතැයි සිතිය හැකියි.

2015 දී දේශපාලන ගනුදෙනු සිදුකළත් මේ වනවිට රනිල් වික්‍රමසිංහ මහතා සහ අප අතර දේශපාලන ගනුදෙනුවක් සිදුවන්නේ නෑ. අප සමගි ජන බලවේගය නිර්මාණය කළේ ඒ අනුවයි. ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන්නේ නම් සිදුවිය යුත්තේ නිහතමානිව තම තත්ත්වය පිළිගෙන එක්සත් ජාතික පක්ෂ නව නායකත්වයකට භාරදීමයි. නමුත් අපට වැදගත් වන්නේ වෙනත් පක්ෂයක ක්‍රියාකාරීත්වය නොවෙයි, මේ වනවිට ජනතාව පත්ව ඇති සහ ඉදිරියේදී පත්වන පීඩාවන්ට විසඳුම් ලබාදීම පමණයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට