සත්‍යයේ පුවත් අඩහැරය….

20 වන සංශෝධනයට එරෙහිව රට තුළ කතිකාවතක් ආරම්භ කිරීමට හැකිවීම සතුටට කරුණක් – පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂ ද සිල්වා

Podu Jana Peramuna20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යළි සමාලෝචනය කරන්නැයි ආණ්ඩුවෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටින අතර නින්දෙන් එකවර අවදිව කරන ලද අදහස් දැක්වීම නිවැරදි දැයි හොඳින් කල්පනා කර බලන ලෙස අමාත්‍ය ජී.එල්. පීරිස් මහතාගෙන් ඉල්ලා සිටින බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂ ද සිල්වා මහතා පවසා සිටියි. ඊයේ (13) කොළඹ, විපක්‍ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී හර්ෂ ද සිල්වා මහතා මෙම අදහස් පළකරන ලද අතර එහිදී ඒ මහතා පහත පරිදි වැඩිදුරටත් කරුණු දක්වන ලදී.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් රටේ සංවර්ධන ගමන අඩපණ නිසා 20 වන සංශෝධනය හරහා 19 වන සංශෝධනයේ සඳහන් අහිතකර කරුණු ඉවත් කරන බවට මතයක් ඇති කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා. ඒ අනුව ප්‍රසම්පාදන සහ විගණන කොමිසම ඉවත්කිරීමට ආණ්ඩුව කටයුතු කරලා. ජී.එල්. පීරිස් මහතා ද එවැනි මතයක් ඇතිකරමින් ජනාධිපතිවරයාගේ මුක්තිය පිළිබඳව 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළ සඳහන් වන කරුණු සම්බන්ධයෙන් අදහස් පළකර තිබෙනවා. ජනාධිපතිවරයාට කාර්යයන් රැසක් සිදුකිරීමට තිබෙන නිසා එතුමාට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් ආදිය ඉදිරිපත් කළහොත් එම කටයුතු සඳහා පෙනීසිටීමට ජනාධිපතිවරයාට කාලය ප්‍රමාණවත් නැතැයි පවසමින් ජනාධිපතිවරයාගේ ක්‍රියා තුළින් ජනතාවට හානියක් වුවත් අධිකරණ ක්‍රියාමාර්ග සඳහා යොමුවීමට නොහැකි තත්ත්වයක් ඇතිකිරීම විහිළු සහගත තත්ත්වයක් ලෙස පෙන්වා දියහැකියි.

විගණන නිලධාරින් මහනායක හිමිවරුන් බැහැදැකීමට ගොස් ලියවිල්ලක් ඉදිරිපත් කරමින් විගණන කොමිෂන් සභාව අහෝසිකිරීමේ පාපකර්මය අත්හිටුවීමට මැදිහත් වන්නැයි ඉල්ලා තිබෙනවා.

විගණකාධිපතිවරයා පත්කරන ව්‍යවස්ථාදායක සභාව අහෝසි කර පාර්ලිමේන්තු සභාවක් ස්ථාපිත කරන බව ආණ්ඩුව පවසා තිබෙනවා. නමුත් ඊට නිසි බලයක් නෑ. ඇත්තේ නිර්දේශ කිරීමේ බලයක් නොව නිරීක්ෂණ ඉදිරිපත් කිරීමේ බලයක් පමණයි. ඒ අනුව ව්‍යවස්ථාදායක සභාව සහ පාර්ලිමේන්තු සභාව අතර පැහැදිලි වෙනසක් පවතිනවා. නිරීක්‍ෂණ වලින් කිසිදු පළක් නෑ. නිර්දේශ කිරීමේ බලය උදුරාගත්තේ මන්දැයි ආණ්ඩුවෙන් විමසනවා. පසුගිය මහමැතිවරණයෙන් ආණ්ඩුවට 2/3 ක බලයක් ලබාදුන්නේ මේ ආකාරයට කටයුතු කිරීමට නොවෙයි. රාජ්‍ය ආයතන වල විගණන කටයුතු පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමේ බලය විපක්ෂයේ මන්ත්‍රිවරයෙකු වූ සුනිල් හඳුන්නෙත්ති මහතාට ලබාදී තිබුනා. එම තත්ත්වය ප්‍රතික්‍ෂේප කරමින් කෝප් කමිටුවේ සභාපතිවරයා තම සාමාජිකයෙකු විය යුතුයැයි ආණ්ඩුව පවසනවා. ප්‍රසම්පාදන සහ විගණන කොමිෂන් සභා අහෝසි කරමින්, පාර්ලිමේන්තු කමිටුවල විපක්ෂය දරණ සභාපතිධූර ඉවත්කරමින් තමන්ට අවශ්‍ය ගමනක නිරතවීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා. මෙය ජනතාවාදී ගමනක් නොවෙයි. මෙමඟින් සංවර්ධනය අහෝසි වී දුෂණය සහ වංචාව රජකරන තත්ත්වයක් ඇතිවේවි. තොරතුරු දැනගැනීමේ පනත පැවතියත් පත්කිරීම් කරන්නේ ජනාධිපතිවරයායි. ඒ නිසා නිසි ලෙස තොරතුරු ලබාගැනීමට නොහැකි වේවි. රාජ්‍ය ආයතනයන්හි ප්‍රධානීන් ලෙස පත්ව ඇත්තේ ආණ්ඩුවේ හිතවතුන්. 20 වන සංශෝධනය මඟින් ජනාධිපති ලේකම් කාර්යාලය විගණනය කිරීමේ අයිතිය ඉවත් කිරීමට හේතුව කුමක්දැයි ජනාධිපතිවරයාගෙන් විමසා සිටිනවා. මෙම තත්ත්වයන් සම්බන්ධයෙන් සතුටුවිය නොහැකියි. මෙම තත්ත්වයන් සියල්ල සෘණාත්මක ලෙස රටේ සංවර්ධනයට බලපානවා. කිසිදු පරිසර වාර්තාවක් නොමැතිව සිංහරාජ වනාන්තරය ආශ්‍රිතව ඉදිකරන මාර්ගයේ ඉදිකිරීම් කටයුතු අඛණ්ඩව සිදුකරන්නැයි ජනාධිපතිවරයා විසින් පවසා තිබෙනවා. 20 වන සංශෝධනය සම්මත වුවහොත් ඉහත මාර්ගය ඉදිකිරීම තුළින් පරිසරය විනාශවී ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වන බව පවසමින් අධිකරණය හමුවට යාමට පරිසරවේදියෙකුට නොහැකි වනවා.

20 වන සංශෝධනය තුළ අහිතකර කරුණු ක්‍රියාත්මක නොකරන්නැයි ගුණදාස අමරසේකර මහතා පවා පවසා තිබෙනවා. දේශපාලන වශයෙන් යම් යම් මත පැවතියත් අපි රට වෙනුවෙන් පෙනීසිටිනවා. 20 වන සංශෝධනය අනුව ද්විත්ව පුරවැසිභාවයක් සහිත යම් තනතුරකට පත්වන පුද්ගලයෙකුට එක රටක් එක නීතියක් නොව රටවල් දෙකක්, නීති දෙකක් බවට පත්වනවා. 20 වන සංශෝධනය සකස් කරන ලද්දේ කවුරුන්දැයි කිසිවෙකු දන්නේ නෑ.

තමන්ට 2/3 ක බලයක් හිමිව ඇතැයි ආණ්ඩුව සිතාගෙන සිටිනවා. 19 වන සංශෝධනය නිසා පොලිස්පතිවරයා ඉවත්කළ නොහැකි බවට මතයක් පැවති නමුත් එවැන්නකට වෙනත් ක්‍රියාවලියක් පවතිනවා. 20 වන සංශෝධනය අනුව සියළු පත්කිරීම් සිදුකරන්නේ ජනාධිපතිවරයා විසිනුයි. 20 වන සංශෝධනය සම්බන්ධයෙන් මේ වනවිට රටේ සියළු ජනකොටස් ඇතුළු කණ්ඩායම් දැඩිව අදහස් පළකරමින් සිටිනවා. එවැනි කතිකාවතක් ආරම්භ කිරීමට හැකිවීම සම්බන්ධයෙන් අප දැඩි සතුටට පත්වනවා.

මෙම මාධ්‍ය හමුව සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි විජේපාල හෙට්ටිආරච්චි මහතා ද සහභාගි විය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට