සත්‍යයේ පුවත් අඩහැරය….

කාන්තා හිංසනයට එරෙහිව දැඩි නීති ගෙනැවිත් කාන්තාවන් සුරකීමට ක්‍රමවත් වැඩපිළිවෙළක් සකසනවා – සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස

Podu Jana Peramunaකාන්තා හිංසනයට එරෙහිව දැඩි නීති ගෙනෙන බවත්, කාන්තාවන් සුරකීමට ක්‍රමවත් වැඩපිළිවෙළක් සකසන බවත් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියි.පසුගියදා නෙළුම්පොකුණ රඟහලේ පැවති සමගි වනිතා බලවේගයේ සමාරම්භක උත්සවයට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළකරන ලදී.

මෙහිදී සජිත් ප්‍රේමදාස මහතා පහත පරිදි සිය අදහස් පළකළේය.

මෙරට දැවැන්තම කාන්තා බලවේගය සමගි කාන්තා බලවේගය නිර්මාණය වන මොහොත අද ඉතිහාස ගත වෙනවා. අපේ රටේ කාන්තා පරපුර මේ රටේ ආර්ථික, සමාජ, සංස්කෘතික, දේශපාලනික වශයෙන් වැදගත් කාර්යයක් ඉටුකරනවා. ඔවුන්ගේ සමාජ ආර්ථික, සංස්කෘතික, දේශපාලනික සහ සිවිල් අයිතිවාසිකම් සියල්ල සුරක්ෂිත කරන ගමනක් සමගි ජන බලවේගය ආරම්භ කරන බවට මම ඔබට සහතික වෙනවා.

මේ අවස්ථාව වෙනකොට යුනිසෙෆ් ආයතනය ප්‍රකාශ කරනවා අපේ රටේ කාන්තාවන්ගෙන් සියයට තිහකට තවමත් හරිහමන් ආහාර නැහැ කියලා. ඒ වගේම ඔවුන්ගේ සෞඛ්‍යාරක්ෂිත බව අවම මට්ටමකට වැටිලා. අද වෙනකොට කාන්තාවන් වෙනුවෙන් කැපවීම වචන වලට පමණක් සීමා වෙලා. ඔවුන් දේශපාලන අතකොලු බවට පත්කරලා. මේ වගේ මොහොතක සුවහසක් කාන්තාවන් උදෙසා ප්‍රායෝගිකව මැදිහත් වෙමින් දැවැන්තම කාන්තා විප්ලවයක් සිදු කිරීමයි අපේ අරමුණ. තමුන්නාන්සේලා දන්නවා පහුගිය ජනාධිපතිවරණයේදී අපි ඉතාම අගනා ප්‍රඥප්තියක් එළිදැක්වූවා. ඒ කාන්තා ප්‍රඥප්තිය තුළ මේ සියලුම කාන්තාවන් වෙනුවෙන් විශාල කරුණු කාරණා රාශියක් අන්තර්ගත වුණා. අපි විශ්වාස කරනවා කාන්තාවන් වෙනුවෙන් නිර්මාණය වුණු විශිෂ්ටතම සහ අගනාම ප්‍රඥප්තියක් විදිහට එය. නමුත් ජනාධිපතිවරණයේ දී අපට ජයග්‍රහණය කරන්න අවස්ථාව ලැබුණේ නැහැ. නමුත් මෙවර මැතිවරණයෙන් ජයග්‍රහණය කරලා, මේ කාන්තා ප්‍රඥප්තිය නීතිමය ලියවිල්ලක් බවට පත් කරනවා. ඊට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බවට තමුන්නාන්සේලාට පොරොන්දු වෙනවා. මේ රටේ 52% කට වැඩි ප්‍රමාණයක් ඉන්නේ කාන්තාවන්. නමුත් ඔවුන්ගේ සුරක්ෂිතතාවය වෙනුවෙන් කිසිවක් කරලා නැහැ. රටේ ශ්‍රම දායකත්වයට කාන්තාවන් නිසිපරිදි යොමු කරලා නෑ. අපි කියනවා කාන්තා සංවර්ධනයට කාර්යසාධක බලකායක් ආරම්භ කරනවා. අගමැතිවරයාගේ මූලිකත්වයෙන් එම කාර්යයන් සිදුකරනවා.

කාන්තා අවශ්‍යතාවයන්, කාන්තාවන්ගේ සුභසාධනය, ඔවුන්ගේ සෞඛ්‍යමය අවශ්‍යතාවයන්, ඔවුන්ගේ රැකවරණය, ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අපි ඒ කාර්‍යසාධන බලකාය හරහා විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. විශේෂයෙන්ම කාන්තාවන්ගෙ මන්දපෝෂණය දුරුකරලා ඔවුන් නීරෝගී, ශක්ති සම්පන්න මවක් හැටියට නිර්මාණය කිරීමේ වගකීම රජයකට පැවරෙනවා. ඔබ දන්නවා අද වනවිට කාන්තාවන් විශාල ප්‍රශ්නවලට මුහුණ දීලා. අනෙක් අතට නිරෝගී දරු පරපුරක් රටට අවශ්‍ය වෙනවා. ඒ වෙනුවෙන් මව නිරෝගීමත්ව සිටීම වැදගත් වෙනවා. ඒ නිසා හැම අතින්ම සෞඛ්‍යසම්පන්න කාන්තාවක් නිර්මාණය කිරීම වගකීමක් වෙනවා. විශේෂයෙන්ම කාන්තා මූලික පවුල් ඒකක අද පුදුමාකාර ප්‍රශ්න වලට මුහුණ දෙනවා. ඇය සුරකින්න අපි කැපවෙනවා. අවශ්‍ය ශක්තිය අපි ලබා දෙනවා.

ක්ෂුද්‍රමූල්‍ය ණය නිසා බොහෝ කාන්තාවන් පුදුමාකාර මර උගුලකට අහුවෙලා ඉන්නවා. මේ ව්‍යසනය කාන්තාවන්ගේ ජීවිත විශාල ව්‍යසනයකට ඇදලාදාලා තියෙනවා. අපි වහාම මේ ක්ෂුද්‍රමූල්‍ය ණය උගුලෙන් කාන්තාවන් මුදවා ගන්නවා. මේ රටේ ශ්‍රම බලකාය තුළ කාන්තා දායකත්වය විධිමත් කරනවා. එහිදී පවුල් ඒකකයට ගැටලුවක් නොවන ලෙස ඔවුන් ශ්‍රම බලකායට එක් කර ගන්නවා. අපේ රටේ ස්වයංරැකියා ක්‍ෂේත්‍රයේ කාන්තාවන් විශාල පිරිසක් ඉන්නවා. ඔවුන්ගේ එම වෘත්තිය විධිමත්ව සකස් කිරීමට අපේ සහය ලබා දෙනවා. ඔවුන් වෙනුවෙන් පුහුණු මධ්‍යස්ථාන ආරම්භ කරලා ඔවුන් ජාත්‍යන්තර මට්ටමේ දියුණු තලයකට ගෙන ඒමට කටයුතු කරනවා. ඇගලුම්කම්හල්වල සේවය කරන කාන්තාවන් ගැන බලන්න. ඒ වැඩසටහන ආරම්භ කළේ මේ රටේ කාන්තාවන්ට ස්වාධීනව ශක්තිමත් ලෙස තමන්ගේ කටයුතු ඉටුකරගන්න පුලුවන් ආර්ථිකයක් හදන්නයි. ඔවුන් ඒ තුලින් කාටවත් අත නොපා ජීවත් වුනා. ජීවිතය සකස්කර ගත්තා. තමන්ගේ පවුල පවා ගොඩ නැගුවා. අද අවශ්‍යතාවය වෙන්නේ එයින් ඔබ්බට ගිය, නව තාක්ෂණය එක්ක ඉදිරියට ගිය ආර්ථික මාවතක් විවෘත කිරීමයි. අද වෙනකොට එතෙර ඉන්න කාන්තාවන් පිළිබඳව බලන්න.

ඔවුන් අන්ත අසරණ වෙලා. පහුගිය මැතිවරණය කාලේ රට විරුවන් කියලා හඳුන්වපු එතෙර කාන්තාවන් අද වන විට මොන තැනකට ඇදලා දමලා. ඔවුන් කෝවිඩ් බෝම්බකරුවන් ලෙස ආණ්ඩුව හඳුන්වා දෙමින් ඉන්නවා. දස දහස් ගණනින් මැදපෙරදිග වැඩ කරන අපේ කාන්තාවන් අසරණ වෙලා ඉන්නවා. ඒ අසරණ කාන්තාවන් වෙනුවෙන්,ඒ අපේ පුරවැසියන් වෙනුවෙන් විදේශීය තානාපති කාර්යාලය සමඟ කතා කරලා අපිට පුළුවන් වුණා ඔවුන් වෙනුවෙන් පෙනී සිටින්න. අපි ඔවුන්ගේ ජීවිත සුරක්ෂිත කරන්න අපේ උපරිම කැපවීම සිදු කළා.ඒ ගැන අපි සතුටු වෙනවා.ඒත් ආණ්ඩුවට වගක්වත් නෑ. අද බලන්න, කාන්තාවන් දේශපාලන අතකොලු බවට පත් කරලා.පහුගිය ජනාධිපතිවරණය වෙලාවේ විශාල පොරොන්දු දීලා කාන්තාවන්ගේ ඡන්දය ලබා ගත්තා.නමුත් අද ඒ සියලු දෙනා ව්‍යසනයට ඇදලා දාලා. ප්‍රේමදාස ජනාධිපතිතුමා රටේ යුද්ධ දෙකක් තියෙද්දිත් ගෙවල් හැදුවා,ජනසවිය දුන්නා,නිල ඇදුම් දුන්නා,දිවා ආහාරය දරුවන්ට දුන්නා.ගම් උදා හැදුවා,ජංගම සේවා තිබ්බා.මොනතරම් දේවල් කළාද. නමුත් අද මොකද වෙන්නේ. අපි ඔබට කියනවා,සහතික වෙනවා, බලය ලබාගෙන මාස තුනක් තුල අපි කාන්තා හිංසනයට,ළමා හිංසනයට සහ අතවර වලට එරෙහිව දැඩි නීති ගෙනෙනවා.දැඩි දඩුවම් ගෙනෙනවා. ඒ වගේම හැම අම්මෙක්ගෙම සිහිනය රටට වැඩදායී දරුවෙක්.බලන්න මත් උවදුර නිසා මොනතරම් විනාශයක් වෙලාද.එලියේ ඉන්න සමහරුන්ට වඩා හිරේ ඉදලා මත් ද්‍රව්‍ය විකුණනවා.අපි දන්නවා සිංගප්පූරුව වගේ රටවල මේ මත් උවදුර නතර වෙලා තියෙන්නේ දැඩි දඩුවම් නිසා.

ඒ නිසා අපි කියනවා මත් ජාවාරම්කරුවන්ට විරුද්ධව අපි මරණ දඩුවම ගෙන එනවා.ස්වාධීන අපක්ෂපාතී අධිකරණ තීන්දුවකින් පසුව එම දඩුවම පැනවිය යුතුයි. ඒ වෙනුවෙන් කතිකාවක් ආරම්භ කරමු කියලා යෝජනා කරනවා.

මෙම අවස්ථාව සඳහා ජලනි ප්‍රේමදාස, හිරුණිකා ප්‍රේමචන්ද්‍ යන මහත්මීන් ඇතුළු සමගි ජනබලවේගයයට අනුබද්ධ සමගි වනිතා බලවේගයට විශාල පිරිසක් එක්ව සිටියහ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට