සත්‍යයේ පුවත් අඩහැරය….

කොවිඩ් ආසාදනය වීමෙන් මියගිය බව පවසා දරුවා හදිසියේ ආදාහනය කිරීම සැකයි, දෙමව්පියන්ගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්..

Podu කොවිඩ් වෛරසය ආසාදනය වූ බව පවසමින් මියගිය සිය දරුවා හදිසියේ ආදාහනය කිරීම සැකසහිත බවට චෝදනා කරමින් එම දරුවාගේ මව සහ පියා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර ඇති බව වාර්තා වේ. මෙසේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර ඇත්තේ එසේ ආදාහනය කරන ලද දින 21 ක් වයසැති දරුවාගේ පියා වන කොළඹ, මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් ෆාරුක් මොහොමඩ් ෆාහීම් සහ මව වන පාතිමා ශෆ්නාස් යන අය විසිනි. සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා, රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂකවරයා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා, නීතිපතිවරයා ඇතුළු 07 දෙනෙකු අදාළ පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත. උණ රෝගය වැළඳීම නිසා පසුගියදා කොළඹ, රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත ඇතුළත් කරන ලද දින 21 ක් වයසැති සිය දරුවාට වෛද්‍යවරුන් විසින් ප්‍රතිකාර ලබාදුන් බවත් කොවිඩ් වෛරසය වැළඳීම හේතුවෙන් මියගියේ යැයි පවසා හදිසියේම දරුවා ආදාහනය කිරිමට රෝහල් බලධාරීන් පසුව කටයුතු කළ බවත් දරුවාගේ පියා පවසා සිටියි. කොවිඩ් වෛරසය ආසාදනය වීම නිසා මරණයට පත්වන පුද්ගලයින්ගේ මළසිරුරු ශීතාගාරවල රඳවා තැබෙන තත්ත්වයකදී සිය දරුවාගේ මෘතදේහය පමණක් මෙසේ හදිසියේ ආදාහනය කිරීම සැකසහිත තත්ත්වයක් බවද මෙම පෙත්සම මඟින් අවධාරණය කර ඇත. එමෙන්ම සිය දරුවා මියගියේ කොවිඩ් ආසාදනය වීම නිසායැයි තහවුරු කිරීම සඳහා කිසිදු ලේඛනයක් රෝහල මඟින් තමන්ට ලබානොදුන් බවටත් මියගිය දරුවාව යළි පී.සී.ආර්. පරීක්ෂණයකට ලක්කරන ලෙස තමන් කළ ඉල්ලීම පවා රෝහල් බලධාරීන් ප්‍රතික්ෂේප කළ බවටද පෙත්සම මඟින් චෝදනා කර ඇත. ඒ අනුව විධිමත් පරීක්ෂණයකට ලක්නොකර දරුවා ආදාහනය කිරීම සිය ආගමික විශ්වාසයන්ට පටහැනි කාර්යයක් බැවින් මෙමඟින් සිය මූලික අයිතීන් උල්ලංඝනය වී ඇතැයි තීන්දුවක් ලබාදෙන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියි. එමෙන්ම සිය දරුවා රෝහල්ගත කරන ලද අවස්ථාවේ සිට ආදාහනය කිරීම දක්වා කාලසීමාව සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදුකරන ලෙස ද පෙත්සම තුළින් තවදුරටත් අවධාරණය කර ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට