පාර්ලිමේන්තුව 27 තෙක් කල්යයි, පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට සාමාජිකයින් පත්වෙයි..
කථානායක කරූ ජයසූරිය මහතා විසින් පාර්ලිමේන්තුව ලබන 27 වනදා තෙක් කල් තැබීමට තීරණය කර ඇත. ඒ අනුව පාර්ලිමේන්තුව යළිත් එදින පස්වරු 01.00 ට රැස්වීමට නියමිතව තිබේ. අද (23) පැවති පාර්ලිමේන්තු රැස්වීමේදී පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සදහා නියෝජිතයින් පත්කරන ලදී. ඒ අනුව අදාළ නියෝජිතයින් සම්බන්ධයෙන් කථානායකවරයාට විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව බහුතර ඡන්දයෙන් සම්මත විය. ඒ අනුව එම යෝජනාවට පක්ෂ ඡන්ද 121 ලැබී තිබේ. කෙසේ වෙතත් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සිය ඡන්දය ප්‍රකාශ කිරීම ප්‍රතික්ෂේප කර පාර්ලිමේන්තු සභා ගර්භයෙන් පිටව ගොස් ඇත. අදාළ යෝජනාවට අනුව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සාමාජිකයින් ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් දිනේෂ් ගුණවර්ධන, නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද සමරසිංහ, එස්.බී. දිසානායක, සහ විමල් වීරවංශ යන මහත්වරුන්ද එක්සත් ජාතික පෙරමුණෙන් ලක්ෂ්මන් කිරිඇල්ල, පාඨලී චම්පික රණවක, රවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන් සහ මනෝ ගනේෂන් යන මහත්වරුන්ද පත්ව ඇත. ද්‍රවිඩ ජාතික සන්ධානයේ මාවේ සේනාධිරාජා සහ ජනතා විමුක්ති පෙරමුණේ විජිත හේරත් යන මහත්වරුන් මෙම සභාවේ අනෙකුත් සාමාජිකයින් වෙති.