ජනතා ජීවිත සමඟ සෙල්ලම් නොකර නිවැරදි වාර්තා රටට ඉදිරිපත් කරන්නැයි ආණ්ඩුවට අවධාරණය කරනවා – සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල
මේ වනවිට මුහුණදීමට සිදුව ඇති පීඩාකාරී බව හමුවේ කොරෝනා වසංගතය පවා අමතක වන තත්ත්වයකට මෙරට ජනතාව පත්ව ඇති බවත් වෛද්‍ය වාර්තාවන්ට අනුව කොරෝනා වසංගතයේ නව ඩෙල්ටා ප්‍රභේදයත් සමඟ මෙරට තත්ත්වය දරුණු වෙමින් පවතින බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල මහතා අවධාරණය කරයි.
අද (20) කොළඹ, විපක්‍ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් මේ බව අවධාරණය කළ අලවතුවල මහතා එහිදී පහත පරිදි සිය අදහස් දක්වා සිටියේය.
වෛද්‍ය නිර්දේශය අනුව ඩෙල්ටා ප්‍රභේදය ආසාදනයවූවන් සඳහා ඔක්සිජන් ලබා දීම සඳහා එම ආසාදිතයින් රෝහල් ගතකළ යුතු වුවත් එසේ රෝහල්ගත නොකළහොත් එම රෝගීන් නිවෙස් තුළම හෝ මාර්ග ආශ්‍රිතව පවා මියයා හැකියි. පසුගිය අප්‍රියෙල් මාසයේ සිට මේ දක්වා 4000 කට ආසන්න පිරිසක් කොරෝනා වෛරසය අසාදනය වීමෙන් මියගොස් ඇති බවට තොරුතුරු වාර්තා වනවා. නමුත් එම තත්ත්වයන් පිළිබඳ සත්‍යය තොරතුරු රටට හෙළිවන්නේ නෑ. වසංගත රෝග විද්‍යා අංශය ඉදිරිපත් කරන වාර්තා අසත්‍ය බව වෛද්‍ය සංගම් ගණනාවක් ප්‍රකාශ තිබෙනවා. නිවැරදි නොවන වාර්තා හේතුවෙන් රට තුළ ඉතා භයානක තත්ත්වයක් ඇති විය හැකියි.
කොරෝනා ව්‍යාප්තිය හමුවේ ජනතා ජීවිත සමඟ සෙල්ලම් නොකර නිවැරදි වාර්තා රටට ඉදිරිපත් කරන්නැයි ආණ්ඩුවට අවධාරණය කරනවා.
ඉන්ධන මිල වැඩිකිරීම සම්බන්ධයෙන් අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාව අද ද පාර්ලිමේන්තුවේදී විවාදයට ගන්නවා. ඉන්ධන මිල ඉහළ දැමීමේ තීරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විරුද්ධ බව මෙන්ම එවැනි තීරණයක් ගත් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඉල්ලා අස්විය යුතුයැයි ප්‍රකාශ කළ එම පෙරමුණේ මහලේකම්වරයා, ඉල්ලා අස්වන ලෙස දන්වමින් උදය ගම්මන්පිල මහතාට ලිපියක් යොමුකළේ සිය තනි තීරණයට අනුව නොව පක්‍ෂ නායකයින් ඇතුළු සියළුදෙනාගේම එකඟතාවයෙන් යැයි ඊයේ ප්‍රකාශ කර තිබෙනවා. ආණ්ඩුවේ එකඟතාවය මත ගත් ඉහත තීරණයට රාජපක්‍ෂවරුන්ගේ සම්බන්ධයක් නොමැති බව ඇඟවීම සඳහා මෙවැන්නක් සිදුකර ඇති නමුත් අප ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව හේතුවෙන් ආණ්ඩුවේ රෙදි ගැලවී ගොස් තිබෙනවා. විශ්වාසභංග යෝජනාවට පක්‍ෂව ඡන්දය ලබාදෙන්නේ කවුදැයි යන්න මෙන්ම රාජපක්‍ෂවරුන්ගේ බේරීම සඳහා ඉන්ධන මිල ඉහළදැමීම සම්බන්ධයෙන් එක් අමාත්‍යවරයෙකුට පමණක් චෝදනා එල්ල කරන ලද්දේ කාගේ වූවමනාවටදැයි අවබෝධ කරගැනීමට ඉදිරියේදී ජනතාවට හැකිවේවි.
ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ ජීවන වියදම කමිටුව විසින් ඉන්ධන මිල ඉහළදැමීමට තීරණය කළ බව අප මුලසිටම දන්නවා. උදය ගම්මන්පිල මහතාගේ තනි තීන්දුවක් පමණක් වන මෙම තීරණයට රාජපක්‍ෂවරුන් විරුද්ධ බව පෙන්වීම සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහලේකම්වරයා හරහා උත්සාහයක් දියත්වුවත් අපගේ විශ්වාසභංග යෝජනාව හමුවේ ජනතාව මුළාකිරීමට ආණ්ඩුව ගත් උත්සාහය අසාර්ථකවී තිබෙනවා.
ලෝක වෙළඳපොලේ පහළ ගොස් තිබෙන මිල ගණන් යටතේ මෙරට ඉන්ධන මිල පහළ දමන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දුවක් ලබාදී තිබියදී පවා, ඉන්ධන මිල පහළ දමන බව පවසමින් යුද්ධයෙන් පසු බලයට පැමිණි මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව 2015 දී පරාජය වන තෙක් ඉන්ධන මිල පහළ දැමුවේ නෑ.
ඉන්ධන මිල පහළ දමන ලෙස ඉල්ලීම් කරමින් හලාවත ප්‍රදේශයේ පැවති විරෝධතාවයකට එවක ආණ්ඩුව පිළිතුරු ලබාදුන්නේ ඇන්ටනී වැනි ධීවරයින්ව වෙඩිතබා ඝාතනය කිරීමෙනුයි. ඉන්ධන මිල ඉහළදැමීමට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්‍ෂව සිය මනාපය ලබාදෙන්නැයි ආණ්ඩු පක්‍ෂයේ වුවද ජනතාව වෙනුවෙන් පෙනීසිටින මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිනවා.
ජනතාව වෙනුවෙන් පමණක් කටයුතු කරන සමගි ජන බලවේගයට වත්මන් ආණ්ඩුව සමඟ කිසිදු ඩීල් දේශපාලනයක් නැහැ. ගෑස් සිලින්ඩරයක අඩංගු වියයුතු ගෑස් ප්‍රමාණය අඩුකර විජ්ජාවක් කරමින් ගෑස් මිල වැඩිකිරීමට ආණ්ඩුව කටයුතු කර තිබෙනවා.
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත